සිරිලක බහු-සංස්කෘතික නොවේ යැයි ද බහු-සංස්කෘතිය කියා සංකල්පයක් නැතැයි ද යනුවෙන් ඇතැම්හු ගොස නගත්... සිදු විය යුත්තක් මැයි... එසේ යැයි කීමට කරුණු ඇත්නම් එය පැවැසිය යුතු මැ නො? මේ ලිපියෙහි අරමුණ එසේ පවසන්නවුන් හා දෘෂ්ටිවාදාත්මක වැ ඇවිළීම නොවේ... එසේ පවසනුයේ ඔවුනට දැ සවිමත් තර්ක ඇති බැවිනි... එහෙත් තර්කය නිර්මල උපකරණයක් නොවේ යැයි මාර්ටින් වික්‍රමසිංහයන් වරෙකැ පවසා ඇත... බුදුරදුන් තර්කය නො හොත් වාදය ගැන දක්වා ඇත්තේ නිෂේධනීය ආකල්පයක් බව බුදු දෙසුමෙන් මැ වැටහේ: වාදයෙන් දිනන්නා අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වේ; පරදින්නා වේදනාවට පත් වේ... එහෙයින් වාදයෙන් දිනනෙක් නැත...
අද දින මගේ පැරණි මිතුරන් දෙදෙනෙකු මා දැක්මට පැමිණියහ. අප තිදෙනා මැ සිරිලක පුරවැසියන් වුව දැ අප අතරැ වර්ගවාදී ආකල්ප කිසි කලෙකැ නො වීයැ. මම සිංහලයෙකු වුව දැ අඩක් කිතුනු යැ අඩක් බොදුනු යැ; මා මිතුරු ආසිරි පනෙදුන් (ෆනෑන්ඩෝ) මුළු මනින් මැ කිතුණු යැ. තව දැ නඩරාජා චෙන්තූරන්හු දමිල යැ; හින්දු යැ. අපි තිදෙනා මැ හෙළ මියැසිය රිසි සේ රස විඳැ හෙළ බසින් මැ ආ ගිය තොරතුරු තෙපළමින් නො එක් දෑ ගැන දෙඩූමු. අද දින සිරිලකට පැමිණ ඇති පිරිපත ගැන එක ලෙස මුසුප්පු වූමු.
මින් කිමෙක් ඇඟවේ ද? සිරිලක පුරා වර්ගවාදී අදහස් පැතිරේද්දීත් අප මිතු දම තිර ලෙසැ පැවැතීම කෙතරම් අරුමයක් ද? සිරිලක බහු-සංස්කෘතියක් නැති බවත් පවතින උප-සංස්කෘතී මහා සංස්කෘතියේ අනුහසට යටත් බවත් ඇතැම්හු පවසත්...එද බොදුනු සංස්කෘතිය තරමක් වෙනස් මඟක් ගෙනැ අන්‍ය උප-සංස්කෘති හා සහජීවනයෙන් වීසීමට තරම් නැමියාවක් ඇතැයිදැ කියැවේ. මෙහි දී එක් එක් බොදුනුවා තුළ මෙකී ගුණය පවතී දැයි සොයා බැලීම වටී. උදාහරණ තුනක් මා සතුවැ ඇත. එකක් මෙසේ යැ :සිරිලක ව්‍යවස්ථාවට අනුකූල වැ බෞද්ධ විහාරස්ථානයක් පිහිටා ඇති ස්ථානයකට නිශ්චිත දුර ප්‍රමාණයක් ඇතුළතැ අන්‍යාගමික සිද්ධස්ථානයක් ඇරඹීම සපුරා තහනම් යැ, දුර ප්‍රමාණය කෙතරම් දැයි මේ මොහොතේ සිහියට නො නැඟේ, කමන්නැ. අනෙක මෙසේ යැ: කිරිබත්ගොඩ නගරයේ සිංහල වෙළෙඳ සංගමය මගින් දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වෙළෙඳ හා ව්‍යාපාරික කටයුතු කිරීම සපුරා තහනම් යැ, එම නියෝගය නො තකා සුපිරි වෙළෙඳ සැලක් ඇරඹි “බයිරහා” මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ගොඩනැඟිල්ලට එම වෙළෙඳ සැල ඇරඹීමට දිනක් තියා බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරිණි; පිටුපස සිටියේ කවුරුන් ද යන බව කාටත් නො රහසකි. වෙළෙඳ ව්‍යාපාරය ලත් තැන මැ ලොප් විය. අවසන් උදාහරණය යි මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ කතෝලික ශිෂ්‍ය සංගමය තම සමාජ මෙහවර ඉටු කිරීම් වස් තණමල්විල ප්‍රදේශයේ දුෂ්කර ගමක් තෝරා ගෙන පාසල් නිවාඩු සමයේ නොමිලයේ උපකාරක පංති පැවැත්වීමට තීරණය කොට වාර කිහිපයක් මැ එහි ගොස් නැවතී වැඩමුළු පැවැත්වීය. ඊට බොහෝ බොදුනු සරසවි සිසුහු ද සහභාගී වූහ. දිනක් පංති පැවැත්වෙමින් තිබිය දී චීවරධාරියෙක් පෙරමුණු කර ගත් ගම්මුන් පිරිසක් පැමිණ සරසවි සිසුනට පහර දී නැවත තම ගමට නො එන ලෙසට තර්ජනය කරන්ට විය. හේතුව කිමෙක් දැයි විමසා බැලූ කළ පෙනී ගියේ මේ වැඩමුළුව කතෝලික ශිෂ්‍යයන් විසින් සංවිධාන කෙරෙන බැවින් කතෝලික ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් එසේ කරනු ඇතැයි භීතියෙන් ඔවුන් එලෙස හැසීරී ඇති බවයි. නමුත් එම සිසුන් තුළැ එවැනි හැඟීමක් තුන් හිතකවත් තිබුණේ නැත.
උක්ත උදාහරණවලින් පැහදිලි වනුයේ බුදු දහමේ ඇති සහනශීලී ගුණය බුදු දහමින් පෝෂණය වුණු සංස්කෘතියක් ඇති සිරිලක වසන සියල්ලන් තුළ නැති බවයි.
නා නා සංස්කෘතිවලැ ඇති යහගුණය උකහා ගැන්මට නම් ඒවා සමඟ ඇති සංස්පර්ශ අතිශය වැදගත් යැ. සිය බස මැ සිය සංස්කෘතිය මැ උසස් යැයි වනමින් සිටීම නුවණට හුරු නොවේ...
“I am a citizen of the world” යැයි මාක්ස්හු පැවසූ වදන කෙතරම් අරුත් සරු ද?