ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් පතමි!බොහෝ කලකට පෙර මගේ ම බ්ලොග් අඩවි එකක් නොව දෙකක් ම ඇරඹුව ද ඒවා ක්‍රමානුකූල ව පවත්වා ගෙන යාමටත් නිරන්තර ව යාවත්කාලීන කිරීමටත් මම අපොහොසත් වීමි. ඒ කාර්යබහුල බැවින් ම නොවේ. මසිතට නොයෙක් දෑ ගලා ආවද ඒවා නිසි ලෙස ගොනු කර ලිවීමේ නිසග හැකියාවක් මා සතුව නැති බැවිනියි සිතමි. එද මම මගේ මිතුරන්ගේ සහ හිතවතුන්ගේ බ්ලොග් අඩවි නිරතුරු ව ඇසුරු කළෙමි; මගේ අදහස් ඔවුන් වෙත නිරතුරුව දැන්වීමි; ඉන් අසීමිත සතුටක් විඳීමි. අදහස් අතින් පොහොසත් ලේඛනයෙහි ශූර මා මිතුරන් සහ හිතවතුන් වෙත මේ නව ප්‍රවණතාව හඳුන්වා දීමට ද මම උත්සුක වීමි. ඔවුහු එමගෙහි බොහෝ දුර ගොස් සිටිනු දැකීම සොම්නසට කරුණකි.
මගේ ම බ්ලොග් අඩවියක් යළි ඇරඹීම ගැන නොයෙක් අයුරෙන් කල්පනා කර අවසන දී එකී කාර්යය අත ගැසීමට මම තීරණය කළෙමි. මෙහි දී “නොයෙක් අයුරෙන් කල්පනා කර” යන වාක්‍යාශයෙන් මා අදහස් කරනුයේ විෂය පථය, භාෂාව (මාධ්‍යය), ග්‍රාහක ප්‍රජාව, සහ අනෙකුත් සීමා මායිම් වැනි දෑයි. මගේ උනන්දුව නොයෙක් විෂය ක්ෂේත්‍ර ගැන පැතිරෙන නිසාත් ඒවා සමීපතමයන් හා බෙදා ගැනීමේ අභිරුචියෙන් මා නිරතුරු පෙළෙන නිසාත් සමාජ-සංස්කෘතික සීමා මායිම් හා සම්මුති ගැන හැඟීමක් ඇති නිසාත් මෙකී සියල්ල සංතෘප්ත කෙරෙන කෙටි ලිපි මාලාවකින් මගේ නව බ්ලොග් අඩවිය ඇරඹෙනු ඇත. ඇවසි පරිදි සිංහල හෝ ඉංග්‍රීසි බසින් ලිපි පළ කිරීමට සිතමි.
එම ලිපිවල පළ වන අදහස් ගැන ඔබගේ අදහස් මගේ බ්ලොග් අඩවියේ පළ කරන්නේ නම් මැනවි. එම අදහස් ලිපිවල අන්තර්ගතය ගැන හෝ වියරණය ගැන හෝ අනෙක් කුමන කරුණක් ගැන වුව ද කම් නැත. අවැසි වනුයේ නිරතුරු ව කෙරෙන සංවාදයයි. බ්ලොග් අඩවියක් සාමාන්‍ය පුවත්පත් ලිපියකින් වෙනස් වන මූලික ලක්ෂණයක් වන්නේ ද මේ “අන්තර්ක්‍රියාකාරී” ගුණයයි. මගේ මේ වෑයම සඵල කර ගැනීමට ඔබ හැමගේ සහයෝගය පතමි.